මෙම පොතේ අරමුණ

අපි පාසල් යනවා. විභාග ලියනවා. සුදුසුකම් ලබාගන්නවා. රැකියාවකට අවශ්‍ය දැනුම ඉගෙනගන්නවා.

ඒ හැම දෙයක්ම වැදගත්.
නමුත් ජීවිතයේ අපට වඩාත්ම බලපාන ප්‍රශ්න බොහෝවිට විභාග පත්‍රයක එන්නේ නැහැ.
අසාර්ථක වුණාම නැවත නැගිටින්නේ කොහොමද?
තමන් ගැන විශ්වාසය නැති වූ වෙලාවක ඒ විශ්වාසය නැවත ගොඩනගන්නේ කොහොමද?
බිය තිබුණත් නිවැරදි තීරණයක් ගන්නේ කොහොමද?
කල් දැමීම නවත්වලා ක්‍රියා කරන්න පටන් ගන්නේ කොහොමද?
මුදල් උපයන එක පමණක් නොව, ඒ මුදල් භාවිතා කරලා නිදහසක් ගොඩනගන්නේ කොහොමද?
අන් අයගේ බලාපොරොත්තු අතරින්, තමන්ටම අවශ්‍ය ජීවිතය හඳුනාගන්නේ කොහොමද?
තවම දක්ෂ නැති දෙයකට කාලය දීලා, දවසක දක්ෂ කෙනෙක් බවට පත්වෙන්නේ කොහොමද?

මේවාට ලකුණු දෙන විභාගයක් නැහැ.නමුත් මේ ප්‍රශ්නවලට අපි දෙන පිළිතුරු අපේ ජීවිතයේ ප්‍රතිඵල තීරණය කරනවා.

බොහෝ දෙනා මේ පාඩම් ඉගෙනගන්නේ ජීවිතය හරහා.
වැරදි කරලා. අවස්ථා අහිමි කරගෙන. පසුතැවිලා.

වසර ගණනකට පස්සේ ආපසු හැරී බලලා,

“මේක මට කලින් තේරුණා නම්…” කියන මොහොතක.මේ පොත ලියවුණේ එවැනි පාඩම් කිහිපයක් ඔබට කලින්ම දැකගන්න උදව් කරන්නයි.මෙහි තිබෙන හැම අදහසක්ම ඔබ විශ්වාස කරන්න අවශ්‍ය නැහැ.
ඒවා ප්‍රශ්න කරන්න.
ඔබේ ජීවිතය සමඟ සසඳන්න.
“මම මෙහෙම හිතන්නේ ඇයි?”
“මේ විශ්වාසය ඇත්තටම මගේම එකක්ද?”
“මගේ පුරුදු මාව කොහෙට ගෙන යනවාද?”
“මම අද කරන දේ, මට අවශ්‍ය අනාගතයට ගැළපෙනවාද?”

කියලා ඔබෙන්ම අහන්න.ඔබේ ජීවිතය වෙනස් කරන්න තවත් අවස්ථාවක් අවශ්‍යද?නැත්නම්, ඔබට දැනටමත් තිබෙන අවස්ථාව අලුත් විදිහකට දැකගැනීමද අවශ්‍ය?